අපගේ දැක්ම
සවිමත් ජන දිවිය - අසිරිමත් පුරවරයඅපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය හා ජන සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවා ලීම.
මතුගම ප්‍රදේශ පාලනය හා බැඳුණු ඉතිහාසය
වසර දෙදහස් පන්සියයක සිංහල ඉතිහාසයේ රාජ්‍යත්වය හා බැඳුණු ඉතා ශක්තිමත් නිල බල ධූරාවලියක් පැවති ආකාරය පිළිබඳ නිදර්ශන රැසක් ඇත.පරුමක ගමික ගම්ලද්දා රටලද්දා ඈපා මාපා ආදී වශයෙන් එම ධූරාවලිය පැවතුණි. අවසාන සිංහල රාජ්‍ය සමය නොහොත් සෙංකඩගල මහනුවර අවදිය වන විට.අදිකාරම් දිසාවේ රටේ මහත්තයා මුහන්දිරම් කෝරාළ ආරච්චි කන්කානම ගමරාළ දක්වා මෙම ධූරාවලිය විකාශනය වූ බව පෙනේ.ඉන්දීය ආක්‍රමණ වලට ගොදුරු වූ වන්නි ප්‍රදේශ වල මුදලි වන්නියාර් උඩයාර් ආදී ධූරාවලයක් තිබුණි. එම නිලතල රටේ භූගෝලීය හැඩ ගැස්මට සාපේක්ෂ පරිපාලන රටාවක් මත හැඩ ගැසී තිබූ බවට කල්පනා කළ හැකිය.එසේම එම ක්‍රමය වරින් වර ඓතිහාසික සමාජ හා දේශපාලන විකාශනයට අනුව වෙනස් වෙමින් පැවති බවද පෙනේ.1815 වර්ෂයේ දී සිංහල නිළමේ වරු බ්‍රිතාන්‍ය නිළධාරින් සමග අත්සන් කළ සුප්‍රකට උඩරට ගිවිසුමෙන් පසු රටේ පරිපාලනය ඉංග්‍රීසීන් සතු විය.ඔවුහු 1818 වර්ෂයෙන් පසු රටේ විශාල දේශපාලන ප්‍රතිසංස්කරණ රාශියකට අත තැබූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1833 වර්ෂයේ ඩබ්.එම්.ජී.කෝල්බෘක් සහ එච්. කැමරන් නම් කොමසාරිස් වරුන් දෙදෙනෙකු ලංකාවට පැමිණ සකස් කළ කොමසාරිස් වාර්තාවේ නිර්දේශ මත 1833 දී ලංකාව පළාත් පහකටද පසුව පළාත් නවයකටද කොටස් කළහ. මෙම පළාත් වල දිස්ත්‍රික්ක මායිම් සළකුණු කළහ.ඉන්පසු සිංහල රජ දවස තිබූ නිලබල ධූරාවලිය යම් තරමකින් වෙනස් කොට ඉංග්‍රීසී පරිපාලන රටාව හඳුන්වාදෙන ලදී.එය සිලෝන් සිවිල් සර්විස් යනුවෙන් නම් කරන ලදී. එම පරිපාලන ප්‍රදේශ සඳහා ආණ්ඩුවේ ඒජන්ත වරුන් වශයෙන් ඉංග්‍රීසි නිළධාරීන් පත් කිරීමටද කටයුතු කළහ.
මෙලෙස කළුතර දිස්ත්‍රික්කය සඳහා ද ආණ්ඩුවේ ඒජන්ත වරයෙකු පත් කරන ලදහ.ඔහුට සහාය වීමට සහකාර ඒජන්තවරයෙකුද පත් කරන ලදී.පැරණි ලංකාවේ පරිපාලන බෙදීම් අනුව වර්තමාන කළුතර දිස්ත්‍රික්කය පස්යොදුන් කෝරළය යනුවෙන් හඳුන්වා ඇත. දිස්ත්‍රික් ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසුව බටහිර පස්යොදුන් කෝරළය නැගෙනහිර පස්යොදුන් කෝරළය රයිගම් කෝරළය සහ කළුතර තොටමුණ යනුවෙන් දිස්ත්‍රික්කය කොටස් කීපයකට වෙන් කරන ලදහ.ආණ්ඩුවේ ඒජන්ත යටතේ මෙම කෝරළ පාලනය කරන ලද්දේ මුහන්දිරම් හෝ මුදලි වරුන් විසිනි.ඉන්පසු විදානේ ආරච්චි වරුන් සහ ගම්මුලෑදෑනීන් වූහ. ගම්මුලාදෑනි වසම් දහයකට එක් ආරච්චි කෙනෙකු විය.පැරණි උඩරට පාලන ප්‍රදේශයන්හි රටේ මහත්තයා කෝරාළ ගන් ආරච්චි ආදී තනතුරු ඇති විය.පස්යොදුන් කෝරළයේ සිටි අවසාන මුහන්දිරම් වරුන් අතර කටුගහහේනේ පදිංචි ඩී.එච්.මුණසිංහ මුදලි තුමා සහ වෑත්තෑවේ වෝල්ටර් ගුණතිලක මුදලි තුමා දැක්විය හැකිය..ඒ යුගයේ මතුගම සිටි අවසාන විදානේ ආරච්චි වූයේ සාමෙල් ආරච්චි නොහොත් සාමෙල් මුණසිංහ ආරච්චි මහතාය.
1927 වර්ෂයේ දී ඩෙනමෝර් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොමිසමේ නිර්දේශ අනුව පළාත් පාලන බලතල පුළුල් කරන්නට ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු ආරම්භ කරන ලදහ. ඒ අනුව රාජ්‍ය මන්ත්‍රණ සභා අවදියේ 1932 දී ගම් සභා ආඥ පනත අනුව ගම් සභාව ශක්තිමත් කරලීමට ආණ්ඩුව කටයුතු කළහ. පසුව 1938 අංක20 දරණ පනතින් ගම් සභා වල මෙතෙක් පැවති බලතල පුළුල් කරන ලදී. පොදු මුද්‍රාවක් තබා ගැනීම දේපළ මිලට ගැනීම බදු අය කිරීම වැනි බලතල පුළුල් වීම නිසා දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත වරයාට කාර්ය බහුල විය. මේ නිසා එවකට පැවති දිස්ත්‍රික්ක 17 ප්‍රාදේශීය ආදායම් පාලක කොට්ඨාශ 111 කට බෙදීමට අවශ්‍ය සීමාවන් සකස් කර තිබේ. මෙම පියවර 1939 වර්ෂයේ දී ගැනුණු බව මිනුම්දෝරු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද සිතියමෙන් පෙන්වා දිය හැකිය.මේ අනුව මුදලි තනතුරු අහෝසි වූ අතර ඩී.ආර්.ඕ. නම් විභාගයකින් ප්‍රථම වරට ප්‍රාදේශීය ආදායම් පාලකවරුන් නොහොත් ඩී.ආර්.ඕ. වරුන් බඳවා ගෙන ඇත.1943 වර්ෂයේ දී ලංකාවේ දී සිවිල් සේවා විභාගය පළමු වරට පවත්වා සමත් වූ අයදුම්කරුවන් ද (ඩී.ආර්.ඕ.) වශයෙන් පත් කරගන්නා ලදහ.ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස්යොදුන් කෝරළයේ ඩී.ආර්.ඕ. වරු වශයෙන් ඒ. අමරපාල විදාන පතිරණ( 1941-44)ඒ.ඩී.තෝමස් ඩයස් ජයවීර (1944-47) සේනාරත්න ගම්ලත්රාළලාගේ ලෙනාඩ් ඩැනියෙල් පෙරේරා ( 1947ජන 01-මාර්තු 01) එස්.එන්.ජී. තියෝබොල්ඩ් විජේසිරි ගුණවර්ධන( 1948-50) ජී.ඥානසේනද සොයිසා ( 1950-53) සේනාරත්න ගම්ලත්රාළලාගේ ලෙනාඩ් ඩැනියෙල් පෙරේරා (1953 -1958) චාර්ල්ස් චන්ද්‍රදාස බදුගොඩහේවා( 1958- 1965 ) යන නිළධාරීන් කටයුතු කොට ඇත.මොවුහු මතුගම වෑත්තෑවේ කලින් මුදලි තුමා ගේ කාර්යාලය පිහිටා තිබූ ගොඩනැගිල්ලක ද(වෑත්තෑව රෝහලේ පැරණි ගොඩනැගිල්ල ) අවසාන වශයෙන් අගලවත්ත පාරේ මතුගම ප්‍රා දේශීය සභාව ඉදිරිපස තිබූ පැරණි නිවසක ද සිය ඩී.ආර්.ඕ. කන්තෝරුව පවත්වාගෙන ගොස් ඇත.
1959 වන විට කළුතර දිස්ත්‍රික්කය තුළ පරිපාලන කොට්ඨාශ පහක් පැවත අතර ආදායම් පාලක වරුන්ද පස් දෙනෙකු විය. ඔවුන් යටතේ ගම්මුලෑදෑණින් 227 දෙනෙකු සේවය කළ බව සඳහන්ව ඇත. 1958 වසරේදී ඩී.ආර්.ඕ. වශයෙන් මතුගමට පත්ව පැමිණි බී.සී චන්ද්‍රදාස මහතා ගේ යුගයේ 1960 වර්ෂයේදී මතුගම වර්තමාන ආනන්ද ශස්ත්‍රාලයට යාබද භූමිය සහ නිවස එහි අයිතිරුවා වූ බොනිපස් ප්‍රනාන්දු මහතා ගෙන් කුලී පදනමෙන් ලබා ගෙන මතුගම ඩී.ආර්.ඕ. කාර්යාලාය එහි ස්ථීරව ස්ථාපිත කරන ලදී. පසුව එම ගොඩනැගිල්ල රජයේ දේපළක් බවට පත් විය.1961 වර්ෂයේදී විල්මට් පෙරේරා මහතා ගේ මූලිකත්වයෙන් පත් කළ වැටුප් සහ නිළධාරි පරිපාටි කොමිසමේ වාර්තාවේ( 1961 සැසිවාර්තා 111) නිර්දේශය වූයේ ගම් මුලාදෑනි ක්‍රමය ආහෝසි කිරීමයි. ඒ අනුව 1962 වසරේදී පැරණි ගම්මුලාදෑනි ක්‍රමය වෙනස් කොට ග්‍රාම සේවක නමින් යුත් නව තනතුරක් ඇති කොට ගම් මට්ටමේ නිළධාරීන් පත් කොට ඇත.මේ සඳහා මධ්‍යගත විභාගයක්ද පවත්වන ලදී.මේ අනුව දිවයින පුරා ඉදිරිපත් වූ අපේක්ෂකයන් 14000 ක ගෙන් 3663 දෙනෙකු මෙම තනතුරට බඳවා ගෙන ඇත.පැරණී ගම්මුලාදෑනීන්ද මෙයට ඉදිරිපත් වූ අතර ඇතෙමෙක් එයින් නව ග්‍රාම සේවක ලෙස තේරී පත් විය.ඔවුන් හට නව පත්වීම දෙන ලද්දේ වැඩ බලන ගම්මුලාදෑනී සහ ග්‍රාම සේවක යනුවෙනි. මෙම ග්‍රාම සේවක මහත්වරුන් විසිහත් දෙනෙකු බටහිර පස්යොදුන් කෝරළය වෙනුවෙන් 1963 මැයි පළමුවනදා වැඩ භාර ගෙන තිබේ.සේවයට බඳවා ගැනීමෙන් පසු පොලිසිය උසාවිය සුරාබදු ස්ථානය මිනුම්දෝරු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක ට යොමු කර මනා පුහුණුවක්ද ලබා දී ඇත.මෙම ග්‍රාම සේවක මහතුන්හට එකල විවිධ රාජකාරි විය පොලිසිය සමග පෙට්රල් යෑම සුරාබදු නිළධාරීන් සමග හොර සුරා වැටලීම ආදිය ඒ අතර විය. මිනීමැරුමක් වූ විට මිනිය මුර කිරීමටද සිදු වූ බව පැවසේ. බී.සී.චන්ද්‍රදාස මහතා ගේ සේවා කාලය තුළ කරන ලද වැදගත්ම කාර්යයක් වූයේ පාසල් රජයට පවරා ගැනීමේ රාජකාරිය ඉටු කිරීමයි. මතුගම ආනන්ද ශාස්ත්‍රාලය එසේ පවරා ගන්නා ලද ප්‍රමුඛතම පාසලක් විය.
බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මුල් කාලයේදී ආරම්භ කරන ලද සිවිල් සේවා විභාගය මගින් ආදායම් පාලක වරුන් බඳවා ගැනීමේ ක්‍රමය වෙනස් කිරීමට 1961 වර්ෂයේදී සිලෝන් ඇඩ්මිනිස්ටර් සර්විස් (CAS)නම් විභාගයක් ඇරඹිණ.එම ක්‍රමය ඇති කිරීමට ඉන්දියානු ආදර්ශය ගත් බව සඳහන් වේ.මෙහිදී රජයේ සියළු පරිපාලන නිළධාරීන් එක් බඳවා ගැනීම් සෙවනකට වැටේ. ශ්‍රේණි පහකින් යුත් මේ බඳවා ගැනීම් මත රාජ්‍ය සේවා කොමිසමට පහසුවක් ඇති විය.මෙමනිළධාරීන් බඳවා ගැනීමේ විභාගයෙන් පසු 1963 වර්ෂයේදී එහි දෙවනි අදියරද පැවත්විණ. ඔවුහු 1963 සහ 1965 වර්ෂ වලදී ස්වකීය තනතුරු භාරගත් බව සඳහන් ව ඇත. 1965 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව කීර්තිමත් පරිපාලන නිළධාරියෙකු වූ එම්.ඊ.එල්. ප්‍රනාන්දූ මහතා මතුගම ඩී.ආර්.ඕ. වශයෙන් පත්ව පැමිණියහ.ඔහු ගේ කාලයේදී මතුගම මැදිමහ විදුහලේ දී පවත්වනු ලැබූ කෘෂීකර්ම ප්‍රදර්ශනය කාගෙත් පැසසුමට ලක් විය. එමෙන්ම ඔහු ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු නැන්වීම පිණිස ඇළ වේලි සුද්ද කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක්ද ආරම්භ කර තිබේ. ඔහු 1966 වසර දක්වා එම තනතුරේ කටයුතු කලේය. මේ අවස්ථාවෙන් පසු එන්. (නොරිස්) අමරසිරි ඕබඩගේ මහතා බටහිර පස්යොදුන් කෝරළයේ ආදායම් පාලක වරයා වශයෙන් කටයුතු කර තිබේ.ඔහු ගේ සමුගැනීමෙන් පසු කළුතර දිසාපති තැන ගේ විශේෂ නියෝජිතයෙකු වශයෙන් ලිපිකාර සේවයේ නිළධාරි මහතෙකු හට උසස් වීම් ලබා දී වැඩබලන ඩී.ආර්.ඕ. වශයෙන් පත් කර තිබුණි. එසේ පත් කරන ලද එච්.එච්. ගුණවර්ධන මහතා 1970 දක්වා ආදායම් පාලක තනතුරේ වැඩ බලා තිබේ.
පරිපාලන සේවයෙන් පත් වූ ආදායම් පාලක වරයෙකු පළමු වරට මතුගමට පත්ව ආයේ 1970 වසරේදීය.1970 සිට 1977ප දක්වා කාලය තුළ නිහාල් ජිනසේන මහතා ආදායම් පාලක වරයා ලෙස කටයුතු කළ අතර ඔහුගේ සේවා කාලය තුළ 1973 දී ඩී.ආර්.ඕ. ක්‍රමය අහෝසි කොට ප්‍රාදේශීය උපදිසාපති තනතුර ඇති කර තිබේ.කලුතර දිස්ත්‍රික්කයේ පළමු උපදිසාපති කොට්ඨාශය දෙක වූයේ මතුගම සහ හොරණ ප්‍රදේශයයි.1977 වසරේදී මතුගම උප දිසාපති ලෙසට ආර්.එම්.බී. රත්නායක මහතා පත්ව පැමිණියහ.1978 වසරේදී මෙතෙක් පැවති ග්‍රාම සේවක තනතුරු නාමය වෙනස් කොට ග්‍රාම සේවා නිළධාරී යනුවෙන් නව නාමකරණයක් ඇති කරන ලදී.රත්නායක මහතා 1980 වසර දක්වා එම තනතුරේ කටයුතු කර තිබේ.
1981 සිට 1983 දක්වා ඩී.සෝමජීව මහතා මතුගම උප දිසාපති ලෙස කටයුතු කලේය.1983 ජනවාරි 13 සිට 1993 දක්වා මතුගම උප දිසාපති වරයා ලෙස කේ.ලයනල් පෙරේරා මහතා කටයුතු කර තිබේ.ඔහු 1990 වසරේදී මදුරාවල උප දිසාපති කාර්යාලයටසේවා මාරු වී ගිය අවස්ථාවේදී ශාන්ත කුමාර කන්නන්ගර මහතා මතුගම උප දිසාපති වශයෙන් කෙටි කලක් සේවය කළහ. 1990 වසරේ ජූනි මස පළමුවන දා සිට උප දිසාපති නාමය වෙනස් කොට පළාත් සභාව යටතේ උප දිසාපති තනතුර ප්‍රාදේශීය ලේකම් බවට පත් කළ පසු කේ. ලයනල් පෙරේරා මහතා මතුගම ප්‍රාදේශීය ලේකම් වශයෙන් පත්ව පැමිණියහ..පසුව මේ ක්‍රමයද වෙනස් කොට නැවතත් මධ්‍යම ආණ්ඩුව යටතේ වන නිල ධූරාවලියක් ලෙසට ප්‍රාදේශිය ලේකම් තනතුර පිහිටුවන ලදී.ලයනල් පෙරේරා මහතා එම තනතුරේ කටයුතු කරන කාල වකවානුවේදී මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් ලෙසටද මතුගම සමූපාකාර සමිතියේ සභාපති වශයෙන්ද කටයුතු කර ඇත.ඔහු එම තනතුරු වල කටයුතු කරන ලද්දේ 1991/07/01 සිට 1992/05/14 කාලයේදීය.මෙතෙක් කළුතර කච්චේරියෙන් නොහොත් දිසාපති කාර්යාලයෙන් ඉටු වූ ප්‍රධාන කටයුතු කීපයක් මේ කාලයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට විමධ්‍යගත කිරීමට සලස්වා ඇත.ලයනල් පෙරේරා මහතා 1993 වසරේදී සමුගැනීමෙන් පසුව කේ. එස් විමලවීර මහතා 1994 වර්ෂය තෙක්ද රබර් පාලන දෙපාර්තමේන්තුවෙන් පැමිණි කේ. සිසිර ප්‍රියදර්ශන මහතා 1998 සිට 2000 වර්ෂය දක්වාද කටයුතු කර ඇත.ඉන් පසුව ප්‍රාදේශීය ලේකම් ලෙසට කටයුතු කිරීමට කුසුම් පියරත්න මැතිණිය පත් කර ඇත.අනතුරුව 2004 වර්ෂයේදී ඩබ්.පී. සන්දනායක මහත්මිය පත්ව පැමිණියහ. ඉන්පසුව2010 වර්ෂයේදී සුජානි මහේෂා ද සිල්වා මහත්මිය පත්ව පැමිණි ඇතර ඇය 2016 වසර තෙක් ප්‍රාදේශීය ලේකම් වරිය ලෙසට කටයුතු කලේය. මතුගම නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිවස්නයට ගෙවැදීම කරන ලද්දේ මේ කාලයේදීය. 2016 වසරේ සිට 2021 දක්වා ශ්‍යාමා පී. කාරියවසම් මහත්මිය මතුගම ප්‍රාදේශීය ලේකම්වරිය ලෙසට කටයුතු කළාය. ඇය පත්ව පැමිණි පසු කරන ලද ප්‍රමුඛතම කාර්යයක් බවට පත් වූයේ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ ලිපි ලේඛන ගබඩා කිරීමට ලේඛනාගාරයක් ඇරඹීමයි.එයට අමතරව කීරන්තිඩිය ආදර්ශ ගම්මානය සෑදීමට සහ ආපදාවට පත් වූ ජනතාවට නව නිවාස සහිත ගම්මානයක් සෑදීමටද ප්‍රමුඛත්වය දී තිබුණි. වර්තමාන ප්‍රාදේශීය ලේකම්තුමිය ලෙස ඩබ්.එම්.එන්.හුළුගල්ල මිය 2021 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී වැඩ භාරගත් අතර එතුමිය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා කැපවීමෙන් ක්‍රියාකරනු ලබයි.
මූලාශ්‍ර -
1/ Ceylon Civil List -1940 -1960
2/ Civil Service Administration in Ceylon –wishva warnapala -1974












